ශ්‍රී ලංකාවට අන්තර්ජාලය එන්නට කලින් ඔහු අන්තර්ජාලය ගැන සිංහලෙන් පොතක් ලිව්වේය. ශ්‍රී ලංකාවට මුහුදු අයිතිය හිමිවන්නට කලින් වසර 50කට පෙර ඔහු ඒ ගැන පොතක් ලිව්වේය. මීට අවුරුදු 70කට පෙර, ඔහු 1965 දී ලේක්හවුසියට පත්‍රකලාවේදියකු ලෙස බැඳුණු දා සිට ම කාලයට වඩා ඉදිරියෙන් සිට වැඩ කරන්නට පෙලඹුණේය. ඔහු තුළ නායකත්ව ලක්ෂණය ඒ තරුණ කාලේ පවා තිබුණේය. ශ්‍රී ලංකාවේ පුවත්පත් අතරින් ලේක්හවුස් ඉංග්‍රීසි පුවත්පත් මුලින් ම අන්තර්ජාලයට එක් කිරීමට පුරෝගාමී වූයේ ඔහුය. ඒ වන විට ඔහු ලේක්හවුසියේ සභාපතිවරයා ය. අපේ පත්‍රකලා ඉතිහාසයේ නොමැකෙන නමක් තබා අප අතරින් වෙන්ව ගිය පත්‍රකලාවේදියකු ලෙස හැඳින්විය හැකි ඔහු අර්ල් ලක්ෂ්මන් ජයවර්ධනය. ‘අර්ල්’ (Earl) යනු බ්‍රිතාන්‍යයේ ප්‍රභූ පැළන්තියකට හිමි ගරු නාමයකි. මේ නිසා ඔහු පැමිණි මුල් කාලයේ ම ජනතා පත්‍රයේ සේවය කළ ආනන්ද ලැනරෝල් මිතුරා සුරතලයට ඔහු ඇමතුවේ ‘හාමු මහත්තයා’ කියාය. ඒ නිසා අප අතරත් ඔහු ‘හාමු මහත්තයා’ විය. එකල සිළුමිණ කතුවරයා වූ ඇස්. සුබසිංහ මහතා ද අපට පිටතින් කර ගත යුතු අසීරු වැඩක් ගැන කී හැම විටම කීවේ ‘ඕක හාමු මහත්තයට කියන්න එයා කරල දෙයි’ කියාය.
1980 දී අපි ලේක්හවුසියෙන් ඉවත්ව විජය ප්‍රකාශන ආරම්භ කරද්දීත් ලක්ෂ්මන් අපේ සහයට ආවේය. අවශ්‍ය බොහෝ උපකාර අපට ලබා දුන්නේ ලක්ෂ්මන් ය. උපාලි විජයවර්ධන මහතා ‘දිවයින’ පුවත්පත ආරම්භ කළ නිසා ඔහුට අනුග්‍රහයක් වශයෙන් අප සැලසුම් කළ ‘රන්දිව’ අවලංගු කළ රංජිත් විජයවර්ධන මහතා සතිපතා පත්‍ර කීපයක් පමණක් පළ කිරීමට තීරණය කළේය. ඒ වෙනුවෙන් පසුකාලයක අවශ්‍ය වුවහොත්, පාවිච්චියට ගැනීමට නවතා දමා තිබුණු ‘ලංකාදීප’ නම් මිල දී ගන්නැයි යෝජනා කළේ ලක්ෂ්මන්ය. ඒ අදහස ඔහුට දී තිබුණේ ‘ලංකාදීප’ පත්‍රයේ අවසාන කර්තෘවරයා වූ එල්මෝ ගුණරත්න මහතාය. ඉන් නොනැවතුණු ඒ මහතා ලක්ෂ්මන්ට ඒ සඳහා හමුවීමට අවශ්‍ය පුද්ගලයන් පවා හඳුන්වා දුන්නේය.
ලංකාදීපයේ වත්කම් තිබුණේ භාණ්ඩාගාරය සතුවය. ලක්ෂ්මන්ගේ ඉල්ලීම මත ඒවා භාර අධ්‍යක්ෂවරයා ඒ ගැන එවකට සිටි ජනාධිපතිවරයාගෙන් ඒ විමසූ විට ඔහු කියා තිබුණේ වටිනාකම තක්සේරු කොට විකුණන ලෙසය. ඒ අනුව තාක්ෂණික කොමිටියක් පත් කළ ද පාඩුව නිසා වසා දැමුණු ආයතනයක බඩු භාණ්ඩ මිල කළත් නම්වලට මිලක් නියම කිරීමට ඔවුහූ අසමත් වූහ.
අන්තිමේදී ලක්ෂ්මන් මේ ගැන දුක්මුසු ස්වරයකින් මා සමග කීවේය. ‘අපි මෙිකට මොකක්ද කරන්නෙ?’ ඔහු මගෙන් ඇසීය. ‘අපට බැරිද ගානක් කියල ලිඛිතව ඉල්ලීමක් කරන්න. එතකොට ඒ අයට උත්තරයක් නොදී බැරි වෙනවා නෙ.’ මා කීවේ ඔහු සනසන අටියෙනි. ‘ඒක හොඳ අදහසක්’ කී ලක්ෂ්මන් අධෛර්ය නොවී තවත් පියවරකට සූදානම් විය. ඔහු මේ ගැන විජයවර්ධන මහතාට කියා ඔහුිගේ එකඟත්වය ඇතිව මිලක් යෝජනා කර ලිපියක් ගෙන ගොස් දුන්නේය. ඔවුන් ඊට එකඟ විය. ලක්ෂ්මන් කිසිවකින් හෝ අධෛර්යයට පත් නොවී මේ සඳහා මාස ගණනක් වෙහෙසුණු හැටි මම හොඳාකාරවම දනිමි. ලංකාදීප, ඉරිදා ලංකාදීපය, ද ටයිම්ස්, ඩේලි මිරර්, වනිතා විත්ති ඇතුළු නම් වැල විජය ප්‍රකාශන වෙත ආවේ ඒ කැප වීම නිසාය.
‘ලංකාදීපය’ පමණක් නොව වසර හතළිහක් තිස්සේ ‘ලංකාදීප’ කතු පදවිය දැරූ සිරි රණසිංහ මහතා එහි කැඳවා ගෙන ආවේ ද ලක්ෂ්මන්ය. ඔහු ඒ වන විට සිළුමිණ පත්‍රයේ නියෝජ්‍ය කර්තෘ වශයෙන් සේවය කරමින් සිටියේය. ඔහු එයින් ඉවත්වීමට යන බව කියන පණිවිඩය ගෙනාවේ ලක්ෂ්මන්ය. පසුවදාම ඔහු කැඳවාගෙන එන ලෙස මම ලක්ෂ්මන්ට කීවෙමි. ලක්ෂ්මන් එදා පැවති වර්ෂාවද නොතකා ‘සිරි’ සොයා නාවලට ගියේය. ඒ අනුව පසුවදා සිරී ‘විජය’ට එන විට අපේ ප්‍රධාන කතුවරයා වූ සුබසිංහ මහතා ද පැමිණ සිටියේය. ඔහු දැක පුදුමයට පත් වූ සුබසිංහ මහතා ඔහුව උණුසුම් ලෙස පිළි ගත්තේය. සිරි රණසිංහ සුබසිංහ මහතා දිනමිණ කතුකම දරද්දී ඒ කර්තෘ මණ්ඩලයේ සේවය කළ අයෙකි. ආ ගිය තොරතුරු කතාබහ කළ පසු සුබසිංහ මහතා සිරී අමතා, ‘ඔයා අද ඉඳලම අපි එක්ක වැඩ කරන්න. සිළුමිණට ඉල්ලා අස්වීම යවන්න.’ කියමින් ‘සිරිකත’ පත්‍රය ඔහුට බාර කළේය. ‘ලංකාදීප’ නම මිලදී ගත්තාට පසු දිනපතා පත්‍රයක් ලෙස යළි ආරම්භ කරන්නට වසර කිපයක් ගත වූ අතර එහි කර්තෘවරයා වූයේ සිරි රණසිංහයි. ලක්ෂ්මන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය කර්තෘ හා ප්‍රවෘත්ති කතුවරයා විය.
1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ජනාධිපති ධූරයට පත් වීමෙන් පසු ලක්ෂ්මන් ලේක්හවුසියේ කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ලෙස පත්කරනු ලැබීය. ඔහු ලංකාදීපයෙන් ඉවත්ව ලේක්හවුස් ආයතනයට ගිය ලක්ෂ්මන් මුලින් කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ පදවියත් පසුව එහි සභාපති පදවියත් බාර ගත්තේය. දශ දෙකකට වැඩි කාලයක් ලේක්හවුසියේ සේවය ලක්ෂ්මන්ට ලේක්හවුසිය නුහුරු තැනක් නොවීය. සේවකයන් සඳහා විශේෂ සුබ සාධක වැඩ සටහන් රාශියක් ඇති කළ ඔහු ලේක්හවුසියේ පත්තර කලාව නවයුගයට ගැළපෙන පරිදි වෙනස් කළේය. ලේක්හවුස් පුවත්පත්වල ඔන්ලයින් සංස්කරණ බිහි වූයේ ඔහුගේ කාලයේය. එසේම ලේක්හවුස් ආයතනය තුළ පත්‍රකලාවේදී පුහුණු ආයතනයක් ඇති කළේය. ආරම්භයේ දී ඊට බඳවා ගත්තේ පත්‍රකලාවට කැමති, දිවයිනේ සියලුම මාධ්‍ය ආයතනවල සේවකයන්ගේ දරුදැරියන්ය. ඒ පාඨමාලා පැවැත් වුණේ නොමිලයේය. අද එය සැමට විවෘත ලේක්හවුසියට ආදයම් ලැබෙන ආයතනයක් බවට පත් වී ඇත. ලේක්හවුස් පුස්තකාලය පරිගණක ගත කොට අතීතයේ ඕනෑ පුවතක් හෝ පින්තූරයක් එසැණ සොයා ගත හැකි ක්‍රමවේදයක් හඳුන්වා දුන්නේය.
කෙතරම් වැඩ කටයුතු අධික වුවත් ලක්ෂ්මන් පොතපත ලිවීම නතර කළේ නැත. ලේක්හවුසියේ පත්‍රකලාවේදියකුව සිටි මුල් කාලේ ඔහු ජර්මනියේ පත්‍රකලාව පිළිබඳ විශේෂ පුහුණුවකට ද ගියේය. ජාත්‍යන්තර සබඳතා ගැන ඩිප්ලෝමාවක් ද කළේය. සිළුමිණේ කර්තෘ මණ්ඩලයේ සේවය කරද්දී ඔහු ශ්‍රී ලංකාව හා මුහුදු අයිතිය පිළිබඳ පොතක් ලීවේය. ඒ මුහුදු අයිතිය ගැන ජාත්‍යන්තර නීති රිති පනවන්නට වසර පනහකට පමණ පෙරය. ඔහු ලේක්හවුසියේ සභාපති පදවිය දරමින් සිටිය දී ‘ඉන්ටර්නෙට්’ නමින් ප්‍රථම වරට සිංහලෙන් පොතක් ලියා පළ කළේය. ඒ අන්තර්ජාලය ශ්‍රී ලංකාවට හඳුන්වා දීමටත් කලිනි. ඔහු ලේක්හවුසියෙන් ඉවත්වීමෙන් පසු කෙටි කලක් ‘සිංහල බෞද්ධයා’ පුවත්පතේ කර්තෘ පදවිය දැරුවේය. අනගාරික ධර්මපාල තුමන් ගැන විශේෂ ග්‍රන්ථයක් සම්පාදන කළේය. ඉන්පසු විදේශ සේවයට සම්බන්ධ වී ඉන්දියාව හා කැනඩාව යන රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලවල මාධ්‍ය උපදේශක ලෙස සේවය කළේය.
ලක්ෂ්මන් ජයවර්ධන මහතාගේ දේහය මහරගම පිහිටි නිවසේ 30 වන බ්‍රහස්පතින්දා සිට තැන්පත් කෙරෙන අතර අවසන් කටයුතු සෙනසුරාදා දින එනම් 2025 පෙබරවාරි මස 01 වන දින සවස 04ට මහරගම පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතය.
- පර්සි ජයමාන්න
නවසීලන්තයේ සිට
0 Comments